දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට අවිෂ්ක ප්‍රනාන්දු පත්වීමත්, එම ඉනිම ප්‍රධාන කොට එල්.පී.එල්. තරග ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම කඩුල්ලේ සම්බන්ධතාවත් හේතුවෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලකුණු 23 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අද (21 දා) රාත්‍රියේදී සමත්වූහ. එම ජයග්‍රයණයත් සමඟ පළමු එල්.පී.එල්. තරගාවලියේ කාබන් කොපියක් බඳු දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් 2021 ශූරතා කුසලාන වෙනුවෙන් උරෙනුර ගැටෙනු ඇත.
ප්‍රතිවාදී නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 211 ක අභියෝගයක් දඹුල්ල ජයන්ට්ස් පිල හමුවේ තැබූ අතර එය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි.
වැඩිම ලකුණු ලාභියා වූයේ චාමික කරුණාරත්න වූ අතර ඔහු පන්දු 47 කදී වේගවත් ලකුණු 75 ක් ලබා ගත්තේය. සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු දායකත්වය නොමැතිවීම නිසා චාමිකගේ ඉනිමද පරාජයේ පරතරය අඩු කිරීම හැර වෙනත් බලපෑමක් සිදු නොකළේය. මෙය චාමිකගේ විස්සයි-20 තරග දිවියේ පළමු අර්ධ ශතකය ලෙසින් සටහන්වීම කැපී පෙනෙයි. ආරම්භයේදී තරමක් පීඩනයකින් යුතුව පන්දුවට පහර දුන් චාමික මුහුණ දුන් 31 වැනි පන්දුවේදීත් රැස් කරගෙන සිටියේ ලකුණු 31 ක් පමණි. එහෙත් එතැන් පටන් තිසර පෙරේරාට එරෙහිව පිට පිට හතරේ පහර 3 ක්, හයේ පහරක්, ලකුණු 2 ක් සහ ලකුණක් වශයෙන් ලකුණු 21 ක් රැස් කර ගැනීමට චාමික සමත්වීම නිසා අර්ධ ශතකය පන්දු 5 ක් ඇතුළත රැස් කර ගැනීමට සමත් වූවේය. මෙය දඹුල්ල පිතිකරුවකු මෙවර තරග වාරයේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අතර මීට පෙර පිල් සෝල්ට් (62) ඉහළම ලකුණු ලාභියා බවට පත්ව සිටියේය.
පන්දු 21 කදී ලකුණු 39 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට දඹුල්ල පිතිකරුවන් සමත් වුවත් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 11 කදී ලකුණු 22 ක් ලබාගෙන සිටි පිල් සෝල්ට්ව පළමු කඩුල්ල ලෙස සුරංග ලක්මාල් විසින් දවා ගත්තේය. දසුන් ශානකගේ සේවය අද තරගයට අහිමිවූ තරගයේදී ඉදිරි පෙළ පිතිකරුවන්ට ලකුණු අතර පැමිණීමට නොහැකි වීමත්, ඉලක්කය විශාල වීමත් නිසා මැද පෙළ පිතිකරුවන්ට පීඩනය එන්න එන්නම වැඩි වන්නට විය. ඒ අතරින් සාර්ථක ඵල නෙළා ගත් මහීෂ් තීක්ෂණ, ජේඩ්න් සීල්ස් සහ තිසර පෙරේරා දඹුල්ල පිලේ මුල් කඩුලු 8 දැවී යන විට කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත්වූහ.
ජැෆ්නා කිංග්ස් පිල රැස් කර ගන්නා ලද ලකුණු 210 න් ලකුණු 170 ක්ම ආරම්භක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු සහ රාමනුල්ලා ගුර්බාස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු විය. අතිරේක ලකුණු 8 ක්ද හිමිවූ එම ඉනිමේදී සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ලකුණු 33 කි. මෙම ඉනිම ක්‍රියාත්මක වීමේදී දඹුල්ල කණ්ඩායමේ පන්දු රැකීම මෙන්ම පන්දු යැවීමේදී වූ දුර්වල පන්දු මෙතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට පාදක විය.
මුහුණ දුන් 40 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත් අවිෂ්ක එම ඉනිම මෙවර තරගාවලියේ පිතිකරුවකු ලද පළමු ශතකය බවට පරිවර්තනය කර ගැනීම සඳහා රැස් කර ගන්නා ලද ලකුණු 50 ලබා ගැනීම සඳහා වැය කරන ලද්දේ පන්දු 24 ක් පමණි. අවසන් පන්දුවාරයේදී ශතකය සම්පූර්ණ කර ගැනීමත් සමඟ එල්.පී.එල්. තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා මෙන්ම එල්.පී.එල්. තරග ඉතිහාසයේ එවැනි දස්කමක් කළ දෙවැනි පිතිකරුවා බවට පත්වීමටද අවිෂ්ක ප්‍රනාන්දු අත්විය. පන්දු 64 කදී වාර්තා වුණු අවිෂ්කගේ ලකුණු 100 ක ඉනිමෙන් ලකුණු 64 ක්ම හයේ (6×4) සහ හතරේ පහර (4×10) වලින් රැස් කරන ලද ලකුණු විය.
ශතක ලාභී අවිෂ්කට වඩා ප්‍රවේගකාරී වූ ගුර්බාස්, මුහුණ දුන් 28 වැනිදුවේදී අර්ධ ශතකය සපුරා ගත්තේය. ඒ වන විටත් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කරගත් කඩුලු රකින දකුණත් පිතිකරුවා එල්.පී.එල්. ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙසින් වාර්තා වුණු ලකුණු 122 න් ලකුණු 70 කටම හිමිකම් කීවේය. මොවුන් දෙදෙනා විසින් අද බිඳ දමන ලද්දේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එක්ව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමටඑ එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 121 ක සම්බන්ධතාව විය. එය මෙවර තරග වාරයේ ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින් සනිටුහන් විය. චාමික කරුණාරත්නගේ පන්දුවකට පිල් සෝල්ට් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ගුර්බාස්ගේ ඉනිම නිමා වන විට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ද සමඟ පන්දු 40 කට මුහුණ දී තිබුණි.
තරගයේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු
ලකුණු සාරාංශය
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 210 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 100, රාමනුල්ලා ගුර්බාස් 70, ටොම් කොලර්-කැඩ්මෝර් 15, තිසර පෙරේරා 11*, ළහිරු සමරකෝන් 30/2, මර්චන් ඩි ලැන්ග් 47/1)
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 187 යි – (පිල් සෝල්ට් 22, නිරෝෂන් දික්වැල්ල 18, සඳුන් වීරක්කොඩි 12, නජිබුල්ලා සද්‍රාන් 21, චාමික කරුණාරත්න 75, ජේඩ්න් සීල්ස් 24/3, තිසර පෙරේරා 50/2, මහීෂ් තීක්ෂණ 23/2, වනිඳු හසරංග 32/1, සුරංග ලක්මාල් 25/1)