චන්දිමාල් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුවත් ‘කොළඹට’ වේදනාත්මක පරාජයක්

එල්.පී.එල්. 2021 මූලික තරග වටය යටතේ මෙතෙක් පැවැති තරග අතුරින් වැඩිම තරගකාරීත්වයකින් යුතු තරගය බවට පත් වුණු කලම්බු ස්ටාර්ස් පිලට එරෙහි තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අද (11 දා) රාත්‍රියේ සමත්විය. 16 වැනි පන්දුවාරය තෙක්ම තරගයේ සියළුම වාසීන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සතු වද්දී සියලු වගකීම සිය කර මතට ගත් දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරන ලද අති විශිෂ්ඨ පිතිහරඹය නිසා අතිශය උද්වේගකර තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා වුවත් එහි අවසානය කලම්බු ස්ටාර්ස් පිලට වේදනාත්මක විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගය බවට පත් වුණු මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ටාර්ස් පිලට අවසන් පන්දු 24 දී ලකුණු 52 ක් ලබාගත යුතු විය. පිටිය සිසාරා එල්ල කරන ලද හයේ සහ හතරේ පහර නිසා අවසන් පන්දුවාරය වන විට එහි පරතරය පන්දු 6 කට ලකුණු 13 ක් තරම් අවම තත්ත්වයකට රැගෙන ඒමට චන්දිමාල් සමත්වූවේය.

සාකච්ඡා වට කීපයකින් පසු අවසන් පන්දුවාරය යැවීමේ වගකීමේදී එය ලකුණු 11 කට සීමා කිරීමට චාමික කරුණාරත්න සමත්වීම නිසා අවසානයේ අකමැත්තෙන් වුවද වේදනාත්මක තරගාවසානයකින් සෑහීමකට පත්වීමට කලම්බු ස්ටාර්ස් පිලට සිදුවිය. තරගයේ උණුසුම අවසන් පන්දුව දක්වාම ඇදී ගිය මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 6 ක් ලබා ගත යුතු වුවත් චන්දිමාල්ට ලබා ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

16 වැනි පන්දුවාරය තෙක්ම පන්දු 24 කට මුහුණ දී සිටි චන්දිමාල් රැස් කරගෙන සිටියේ ලකුණු 23 ක් පමණි. සියල්ල කණපිට පෙරළෙන්නට ගත්තේ නුවන් ප්‍රදීප් විසින් ක්‍රියාත්මක කරන ලද 17 වැනි පන්දුවාරයෙන් පසුවය. නුවන් ප්‍රදීප් විසින් යවන ලද ඉතිරි පන්දුවාර 2 දී ලකුණු 35 ක් උදුරා ගත් දකුණත් පිතිකරුවා කලම්බු ස්ටාර්ස් වෙතින් ඈතට ගොස් තිබූ ජයග්‍රාහී බලාපොරොත්තු යළි රැගෙන ආවේය. එහෙත් අවසන් පන්දුවාරයේදී දුෂ්මන්ත චමීර දැවී යෑමද කොළඹ ජයග්‍රහණයට එල්ල කරන අතුල් පහරක් විය. චන්දිමාල් හැරුණු විට කලම්බු ස්ටාර්ස් පිල වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත්වූයේ නායක ධනංජය ද සිල්වා (33) පමණි.

මෙතෙක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව හමුවේ සිය පිතිහරඹය දියත් කළ චන්දිමාල් ලකුණක පරාජයක් සිය කණ්ඩායම ඉදිරියෙන් සටහන් වද්දී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 40 කදී ලකුණු 65 ක් ලබා සිටියේය.

කලම්බු ඉනිමේ සමස්ථ පන්දුවාර සංඛ්‍යාවෙන් 15 ක්ම යවන ලද්දේ දඟ පන්දු යවන්නන් විසින් වන අතර එහිදී කැපී පෙනෙනම පන්දු යැවීම සටහන් කරගත් තරිඳු රත්නායක තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. සිය පන්දුවාර 4 දී කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ ෂෙර්ෆන් රදර්ෆර්ඩ්ගේ කඩුලු ලකුණු 18 ක් තුළදී දවා ගැනීම ඔහුට එම සම්මානය ලබා දීමට හේතු කාරක විය. ඔහුට නගි සහායක් ලබා දුන් ඉම්රාන් තහීර් ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.

පිට පිටම සිව්වැනි වතාවටත් කාසියේ වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ඇරැඹි නිරෝෂන් දික්වැල්ල සහ පිල් සෝල්ට් එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 48 ක සම්බන්ධතාවයක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

මොවුන් දෙදෙනාගේ වේගවත් පිතිහරඹය හමුවේ පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වන විට දඹුල්ල ජයන්ට්ස් පිල ලකුණු 53 ක් ලබා ගැනීමට සමත්වුවත් ඒ වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට සීක්කුගේ ප්‍රසන්න සමත්වූවේය. එතැන් පටන් තරගයේ පාලනය කලම්බු පන්දු යවන්නන් රඳවා ගැනීමට සමත් වූයේ ඉනිම පුරාම නිලකුණු පන්දු 58 ක් සනිටුහන් කරගනිමිනි.

දැවී යන විටත් පන්දු 16 කට මුහුණ දුන් දික්වැල්ල හතරේ පහර 6 ක් සමඟ ලකුණු 30 ක්ද සෝල්ට් හතරේ පහර 4 ක් ද සමඟ පන්දු 18 කදී ලකුණු 21 ක් ලබා සිටියහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් පසු ලකුණු 20 සීමාව ඉක්මවාළීමට සමත් එකම පිතිකරුවා වූයේ ෂොයෙබ් මක්සූඩ් පමණි. ඔහු පන්දු ලකුණු 24 ක් ලබා ගත් නමුත් ඒ සඳහා පන්දු 22 ක් වැය කළේය.

දඹුල්ල ඉනිම මැදදී ප්‍රසන්නට අමතරව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ අනෙක් පන්දු යවන්නා වූයේ පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිය. කිසිදු බුරුලක් ප්‍රතිවාදී පිතිකරුවන් හමුවේ ලබා නොදුන් දකුණත් පා දඟ පන්දු යවන්නා කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු පුවරුවට ලකුණු 21 ක් එකතු වන වාරයේය. වැන්ඩර්සිගේ පන්දුවාර 4 අවසන් වන විට ඔහුගේ පන්දු හමුවේ ප්‍රතිවාදී පිතිකරුවන් රැස් කර ගැනීමට සමත්වූයේ ලකුණු 25 ක් පමණි. තරිඳු රත්නායක (05), ෂොයෙබ් මක්සූද් සහ නජිබුල්ලා සද්‍රාන් (11) වැන්ඩර්සිගේ පන්දු හමුවේ කඩුලු අහිමිකර ගත්තෝ වූහ.

ලකුණු රැස් කිරීමට අසීරු තණතීරුවේදී කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දැඩි වෑයමක් ගත් නායක දසුන් ද රවී රාම්පෝල්ගේ පළමු ගොදුර බවට පත්වූවේය. එතැනින් පසු අද තරගයට ක්‍රීඩා කිරීමට වරම් ලද සචිත ජයතිලක දුවද්දී දැවී යෑම හැරුණු කොට දැවී ගියඉතිරි පිතිකරුවන් දෙදෙනා වුණු රමේෂ් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්නගේ කඩුල් දවා ගනිමින් තම කඩුලු මල්ල ලකුණු 27 කට කඩුලු 3 ක් වශයෙන් රාම්පෝල් තර කර ගත්තේය.

තරගයේ වීරයා – තරිඳු රත්නායක

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 138 යි – (නිරෝෂන් දික්වැල්ල 30, පිල් සෝල්ට් 21, ෂොයෙබ් මක්සූඩ් 24, නජිබුල්ලා සද්‍රාන් 11, දසුන් ශානක16, චාමික කරුණාරත්න 12, රවී රාම්පෝල් 27/3, සීකුගේ ප්‍රසන්න 17/2, ජෙෆ්රි වැන්ඩර්සි 25/3)

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 137 යි – (දිනේෂ් චන්දිමාල් 65*, ධනංජය ද සිල්වා 33, තරිඳු රත්නායක 18/3, ඉම්රාන් තහීර් 19/2, රමේෂ් මෙන්ඩිස් 23/1, නුවන් ප්‍රදීප් 46/1, චාමික කරුණාරත්න 11/1)

Share on facebook
Share on twitter
Share on linkedin

Add a Comment

Your email address will not be published. Required fields are marked *

RELATED POSTS

Wahab Riaz, Shoaib Malik reveal interesting secrets about each other: Eats 6 times a day, even at 3 am
6 months ago Media Release

Jaffna Kings stars Shoaib Malik and Wahab Riaz sat down for a frank conversation on

Read More
Wahab Riaz names Shaheen, Bumrah, Starc in list of current best fast bowlers, rates Rohit, Babar, De Villiers as top batsmen
6 months ago Media Release

Jaffna Kings fast bowler Wahab Riaz, who has already picked five wickets in three games

Read More
Shopping Basket