ජැෆ්නා කිංග්ස් පිට පිට සිව්වැනි ජය වාර්තා කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි දිනය වූ අද (12 දා) දවසේ පළමුව පැවැති හෙවත් 12 වැනි තරගයේදී කැන්ඩි වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණය ජැෆ්වා කිංග්ස් පිල පිට පිටම වාර්තා කරන ලද සිව්වැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

වටින් විට වර්ෂාවෙන් බාධා ඇතිව පැවැති මෙම තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 10 කදී ලකුණු 95 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා පිතිකරුවෝ පන්දු 8ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. කඩුලු 3 ක් බිඳ වැටෙමින් එම ඉලක්කය සපුරා ගනිද්දී තිසර පෙරේරා පන්දු 13 කදී ලකුණු 29 ක්දෂොයෙබ් මලික් පන්දු 9 කදී ලකුණු 14 ක්ද ලබා සිටියහ.

එම හඹා යෑමේදී වේගවත් ආරම්භයක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 12 කදී ලකුණු 23 ක් ලබා ගත්තේය. රාමනුල්ලා ගුර්බාස් වෙනුවට කඩුලු රකින්නා මෙන්ම ආරම්භක පිතිකරුවාගේ වගකීම භාරගත් උපුල් තරංගට පන්දු 8 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි වොරියර්ස් පිලේ 13 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව යැවීමත් සමඟ තරගය වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වන විටත් කඩුලු 2 කට ලකුණු 94 ක් ලබා සිටි කැන්ඩි පිලට යළිත් පන්දුවට පහර දීමේ අවස්ථාව අහිමි වූයේ කාල වේලාව තරගයට හරස්වූ බැවිනි. එම ලකුණු සංඛ්‍යාව ඩක්වර්ත් ලුවිස් න්‍යායට සංසන්දනය කිරීමේදී ජැෆ්නා ඉලක්කය පන්දුවාර 10 කදී ලකුණු 95 ක් විය.

ජැෆ්නා කණ්ඩායමේ පිතිකරණ ශක්තිය දෙස අවධානය යොමු කිරීමේදී එම ඉලක්කය එතරම් ම අපහසු නොවූවක් බව සනාථ කරන ලද්දේ ජැෆ්නා කිංග්ස් පිතිකරුවන්ගේ වේගවත් පිතිකරණ රටාව දෙස නිරීක්ෂණය කිරීමේදීය. වර්ෂාව හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවද පන්දුවාර 3 කට අඩු වූ නමුත් ඉන් හොඳ ප්‍රයෝජනයක් ගත් ආරම්භක පිතිකරුවෝ පන්දුවාරයකට ලකුණු 10 ක වේගවත් රඳවා ගනිමින් පන්දුවට පහර දුන්හ.

කැන්ඩි වොරියර්ස්ගේ බලාපොරොත්තුව වූවේද පළමුව පන්දු යැවීම වුවත්, පාලනය කළ නොහැකි සාධකය වන කාසියේ වාසිය ඔවුන්ට හිමි නොවීම නිසා අකමැත්තෙන් වුවද පන්දුවට පහර දීමට සිදුවිය. පළමු තරග කීපයේදී වේගයෙන් පන්දුවට පහර දුන් කෙනාර් ලුවිස් අද තරගයේදීද විවේක ගැන්වීමට පියවර ගෙන තිබූ බැවින් ඉනිම ආරම්භය චරිත් අසලංක සහ අහමඩ් ෂේසාඩ්ට භාර විය.

කෙසේ වෙතත් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට ඔවුන් දෙපළ අසමත්වූ අතර පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ඔවුන් රැස් කර ගත්තේ ලකුණු 39 ක් පමණක් වන අතර ඒ අතරතුර කඩුල්ලක් දවා ගැනීමට සමත්විය. වගකීම කරට ගෙන පන්දුවට පහර දුන් චරිත් අසලංක පන්දු 34 කදී ලකුණු 44 ක් රැස් කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේය. ෂේසාඩ් ගේ (22) දැවී යෑමෙන් පසු පිතිකරණ අනුපිළිවෙළේ උසස්වීමක් ලබමින් පිටියට පිවිසි මිනෝද් භානුක හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් පන්ද 16 කදී ලකුණු 20 ක් රැස් කළේය.

තරගයේ වීරයා – ෂොයෙබ් මලික්

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 12.2 කදී කඩුලු 2 ට ලකුණු 90 යි – (චරිත් අසලංක 44, අහමඩ් ෂේසාඩ් 22, මිනෝද් භානුක 20, වහාබ් රියාස් 21/1, ෂොයෙබ් මලික් 19/1)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 8.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 95 යි – (තිසර පෙරේරා 29*, අවිෂ්ක ප්‍රනාන්දු 23, උපුල් තරංග 13, ෂොයෙබ් මලික් 14*, ටොම් කොලර්-කැඩ්මෝර් 12, සචිඳු කොළඹගේ 16/1, බිනුර ප්‍රනාන්දු 15/1, නිමේෂ් විමුක්ති 23/1)

Share on facebook
Share on twitter
Share on linkedin

Add a Comment

Your email address will not be published. Required fields are marked *

RELATED POSTS

Shopping Basket