DSC0528-960x640

‘කැන්ඩි’ පරදා ‘කලම්බු’ හම්බන්තොට යයි

තරග 7 ක් තිස්සේ සඟවාගෙන සිටි ප්‍රවේගකාරී පිතිහරඹයේ කුසලතාවයන් අවශ්‍යම මොහොතේදී ක්‍රියාවට නැංවීමට කුසල් පෙරේරා ප්‍රමුඛ පිතිකරුවෝ සමත්වීමත් එල්.පී.එල්. තරග ඉතිහාසයේ පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ජෙෆ්රි වැන්ඩර්සි වාර්තා කිරීමට සමත්වීමත් හේතුකොට කැන්ඩි වොරියර්ස් පිලට  එරෙහිව ලකුණු 58 ක ජයක් වාර්තා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හම්බන්තොටදී පැවැත්වෙන අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට අද (17 දා) රාත්‍රියේ සුදුසුකම් ලබාගත්හ.

මෙම ජයග්‍රහණයත් කලම්බු ස්ටාර්ස් පිල ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් සමඟ ලබන 19 වැනිදා හම්බන්තොටදී ආරම්භ වීමට නියමිත අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයේදී තරග වදිනු ඇත. ස්ටාර්ස් පිලේ පළමු තරගය වන්නේ දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව 19 වැනිදා පැවැත්වෙන ‘එලිමිනේටර්’ තරගය වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹා යෑමේදී චරිත් අසලංක සහ රවී බොපාරා එක්ව පන්දු 36 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩ නඟා ගනිමින් ජයග්‍රහණය දෙපිළටම විවෘත තත්ත්වයකට රැගෙන ඒමට සමත්වූහ. ආරම්භක පිතිකරුවන් වූ කෙනාර් ලුවිස් සහ මිනෝද් භානුකගේ කඩුලු එකම පන්දුවාරයකදී දවා ගත් වැන්ඩර්සි තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව අතරටද පිවිස අසලංකව දවා ගත්තේය. අනතුරුව පන්දු 3 ක් ඇතුළත අත්‍යවශ්‍යම පිතිකරුවකු වූ රවී බොපාරා සහ ඇන්ජලෝ පෙරේරාගේ කඩුලු දවා ගැනීමට සීකුගේ ප්‍රසන්න සමත්වීමත් නිසා වොරියර්ස් පිලෙන් තරගය ගිලිහින. අවසානයේ ඔවුන් පන්දුවාර 17 කදී ලකුණු 124 කට සීමා විය.

ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ වැන්ඩර්සි 17 වැනි පන්දුවාරයේදී වොරියර්ස් පිලේ අවසන් කඩුලු 3 ටම වගකියමින් එල්.පී.එල්. තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාව සිය නම ඉදිරියෙන් සටහන් කර ගත්තේය. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ මොහොමඩ් අමීර් ජැෆ්නා පිලට එරෙහිව ලකුණු 26 ක් ඇතුළත දවා ගන්නා කඩුලු 5 මීට පෙර හොඳම පන්දු යැවීම ලෙසින් සටහන්විය. ඉතා ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කළ වමත් පා දඟ පන්දු යවන්නා නිලකුණු ඕවරයක්ද සමඟ පන්දුවාර 4 දී ලකුණු 25 ක් පමණක් ලබා දී කඩුලු 6 ක් දවා ගනු ලැබුවේ තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කියමිනි.

අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පැමිණි කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 79 මෙම ජයග්‍රහණයට මූලික අඩිතාලම එළන ලද සම්බන්ධතාව බවට පත්විය. පන්දු 43 කදී ගොඩ නැංවුණු එම සම්බන්ධතාවයේදී ධනංජයද සිල්වාගේ දායකත්වය පන්දු 28 කදී ලකුණු 40 ක් විය. හතරේ පහර 7 ක් ද සමඟ ගොඩනැඟුණු එම වටිනා ඉනිම නිසා පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 60 ක් රැස් කර ගැනීමට ස්ටාර්ස් පිලට හැකියාව ලැබිණ.

එල්.පී.එල්. තරග දිවියේ දෙවැනි අර්ධ ශතකයට අද හිමිකම් කී කුසල් පෙරේරා ස්ටාර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 38 කදී ලකුණු 58 ක් ලෙසින් සටහන් වුණු එම ඉනිම, හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් විය.

කුසල්ගේ දැවී යෑමෙන් පසු ස්ටාර්ස් පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය කිසියම් පසුබෑමක් පෙන්නුම් කළ අතර එම දැවී යෑමෙන් පන්දු 26 ක් යන තෙක් හතරේ සීමාවෙන් එපිටට පන්දුව යැවීමට පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. එබැවින් 15 වැනි පන්දුවාරය අවසන් වන විට ස්ටාර්ස් ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 118 ක් ලෙසින් දිස්විය. කෙසේ වෙතත් දිනේෂ්චන්දිමාල්ට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 180 කට එහා ඉලක්කයකට අවශ්‍ය අඩිතාලම එක් කළහ.

මෙවර තරගාවලියේ වැඩිම අවධානයක් දිනා සිටින පිතිකරුවන් අතරට එක්ව සිටින චන්දිමාල් අද දිනයේදීත් පන්දු 29 කදී නොදැවී ලකුණු 44 ක් රැස් කළේය. එම ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දු වාර 5 දී ලකුණු 64 ක් වොරියර්ස් පන්දු යවන්නන්ගේ උදුරා ගැනීමට ස්ටාර්ස් පිලට අවස්ථාව උදාවිය. අල් අමීන් හොසෙන් යවන ලද අවසන් පන්දුවාරයේදී රැස් කර ගන්නා ලද ලකුණු 16 ත් සමඟින් නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 183 ක අභියෝගයක් වොරියර්ස් පිල හමුවේ ස්ටාර්ස් ක්‍රීඩකයෝ තැබූහ.

පන්දු යැවීමේදී නිමේෂ් විමුක්ති ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වද්දී අල් අමීන් හොසේන් සහ ශිරාස් අහමඩ් දැරි ප්‍රහාරයකට ලක්වීම කැපී පෙනුණු. ඔවුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 6 දී ලකුණු 87 ක් ස්ටාර්ස් පිතිකරුවන් උදුරාගැනීමට සමත්ව තිබුණි.

තරගයේ වීරයා – ජෙෆ්රි වැන්ඩර්සි

ලකුණු සාරාංශය

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 යි – (කුසල් පෙරේරා 58, ධනංජය ද සිල්වා 40, දිනේෂ් චන්දිමාල් 40*, ඇන්ජලෝ මැතිව්ස් 29, නිමේෂ් විමුක්ති 24/3, අල් අමීන් හොසේන් 40/1, සචිඳු කොළඹගේ 17/1)

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 17 කදී ලකුණු 124 යි – (රවී බොපාරා 47, චරිත් අසලංක 14, අසේල ගුණරත්න 17, කෙනාර් ලුවිස් 21, කමිඳු මෙන්ඩිස් 13, ජෙෆ්රි වැන්ඩර්සි 25/6, සීකුගේ ප්‍රසන්න 27/2, නවීන් උල්හක් 09/1)

Galle-Gladiators-vs-Jaffna-Kings19 (1)

‘කිංග්ස්’ ජයග්‍රාහී රැල්ල ‘ග්ලැඩියේටර්ස්වරුන්’ බිඳ දමයි

පිට පිටම තරග 6 ක් ජයගනිමින් ජැෆ්නා කිංග්ස් පවත්වාගෙන ආ ජයග්‍රාහි රැල්ල බිඳ දැමීමට ගෝල් ග්ලැඩියේටර් ක්‍රීඩකයෝ අද (17 දා) සමත්වූහ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වැනි තරගය බවට පත් එම තරගයේදී ලකුණු 20 ක ජයක් වාර්තා කළ ග්ලැඩියේටර්වරුන් මූලික තරග වටයේදී ජැෆ්නා කිංග්ස්ට එරෙහිව අපරාජිත භාවය රැක ගැනීමද කැපී පෙනුණි. දෙවැනි එල්.පී.එල්. තරගාවලිය ආරම්භක තරගය බවට පත් වුණු ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගය ජය ගත් ග්ලැඩියේටර්වරු මූලික වටයේ ඔවුන් යළි මුණ ගැසුණු දෙවැනි අවස්ථාවේදීද ජය වාර්තා කිරීම කැපී පෙනෙයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹා යෑමේදී ජැෆ්නා කිංග්ස් පිතිකරුවන් සිර කර ගබා ගත් ග්ලැඩියේටර් පන්දු යවන්නෝ පන්දුවාර 18.3 ක් අවසානයේදී ඉනිම ලකුණු 109 කදී හමාර කළහ. තියුණු ලෙස දඟ කැවෙමින් තිබූ තණතීරුවේදී පන්දු යැවීම මෙන්ම ඉසුරු උදාන අතහැර දැමූ උඩ පන්දුව හැර ග්ලැඩියේටර්වරුන්ගේ පන්දු රැකීමද ඉතාම විශිෂ්ඨ මට්ටමක පැවැතිණ.

ප්‍රවේගකාරී පිතිකරණයේදී පන්දු 15 කදී ලකුණු 21 ක් ලබා ගත් රාමනුල්ලා ගුර්බාස්ව පිටියෙන් ඉවත් කළ සමිට් පටෙල් ටොම් කොලර්-කැඩ්මෝර්ගේ කඩුල්ලද දවා ගනිමින් ග්ලැඩියේටර් පිලට ජයග්‍රාහී මාවත විවර කර දුන්නේය. ලකුණු 10 ක් ඇතුළත ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් වුවත චතුරංග ද සිල්වාට එක්වූ ෂොයෙබ් මලික් සිව්වැනි කඩුල්ලට 27 ක් එක් කරමින් කිංග්ස් ඉනිම ගොඩ ගැනීමට අසීරු උත්සාහයක් ගත්හ.

තරගාවලිය අතරතුරදී කණ්ඩායමට එක් වුණු සහන් ආරච්චිගේ විසින් චතුරංග දවා ගැනීමත් සමග කිංග්ස් ඉනිමේ කඩුලු එක පිට එක වැටීයෑම ඇරැඹිණ. සමිට් පටෙල්ට අමතරව කඩුලු 2 ක් දවා ගත් අනෙක් පන්දු යවන්නා වූ නූර් අහමඩ් ජයග්‍රහණයට තීරණාත්මකම ෂොයෙබ් මලික්ගේ කඩුල්ල දවා ගත්තේය. අහමඩ්ගේ නම ඉදිරියෙන් එම කඩුල්ල සටහන් වුවත් සියළු ගෞරව ෂෝර්ට් තර්ඩ්මෑන් කළාපයේ සිට උඩ පන්දුව රැකී මොහොමඩ් හෆීස්ට හිමිවිය යුතුය.

කිංග්ස් ඉනිමේ මැද භාගයේදී පන්දු යවන්නන් විසින් පාලනයකට නතු කර ගැනීම නිසා පන්දු සංඛ්‍යාවට වඩා ලබාගත යුතු ලකුණු සංඛ්‍යාවේ පරතරය වැඩිවිය. ඒ අනුව පීඩනය වැඩි කළ ග්ලැඩියේටර් පන්දු යවන්නෝ අවසන් කඩුලු 7 ම ලකුණු 39 ක් ඇතුළතදී දවා ගත්හ.

වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රඳවමින් ප්‍රතිවාදීන් වෙත පීඩනයක් එල්ල කිරීම ග්ලැඩියේටර් පිලේ සැලසුම වුවත්, එකම පිතිකරුවකුට හෝ ලකුණු 25 සීමාව ඉක්මවා රැස් කර ගැනීමට නොහැකි වූහ. වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 23 ක් ලබා ගත් භානුක රාජපක්ෂ ඉදිරියෙන් සිටියත් ඒ සඳහා ඔහු පන්දු 25 කට මුහුණ දී තිබුණේය.

වනිඳු හසරංග වෙනුවට අද තරගයට කැඳවා තිබූ ප්‍රවීන් ජයවික්‍රම කිංග්ස් පිල වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කර ගත්තේය. පිතිකරුවන් මෙල්ල කිරීම වෙනුවෙන් නායක තිසර පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සහයෝගය ලබා ගනිද්දී ඔවුන් විසින් නිලකුණු පන්දු 58 ක් සටහන් කරගැනීමට සමත්වූහ. ඒ අතරින් ජයවික්‍රමට එරෙහිව එකම හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ අසමත්වූහ.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක අද තරගයේදීද ලකුණු අතරට ඒමට අපොහොසත් විය. ගිය වර තරගාවලියේ තරග 10 කට ක්‍රීඩා කරමින් ලකුණු 476 ක් රැස් කරගත් ගුණතිලක මෙවර තරගාවලියේ සහභාගිවූ තරග 8 දී රැස් කර ගන්නා ලද්දේ ලකුණු 98 ක් පමණි. ඒ අතරින් තෙවැනි තරගයේ රැස් කරන ලද ලකුණු 45 ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. අද තරගයේදී රැස් කරන ලද ලකුණු 19 හැරුණු කොට 22, 14, 5, 3*, 45, 1 සහ 8 වශයෙන් ගුණතිලකගේ ඉනිම සටහන් විය.  

ග්ලැඩියේටර් පන්දු යවන්නන් මෙන්ම කිංග්ස් පන්දු යවන්නන්ද කෙතරම් හොඳින් පන්දු යැවුවේද කිවහොත් ප්‍රතිවාදීන් හමුවේ හයේ පහරක් එල්ල කිරීමට අවස්ථාව සලසා දුන්නේ එක් අවස්ථාවකදී පමණි. සහන් ආරච්චිගේ විසින් එම පහර එල්ල කරද්දී සමස්ථ ඉනිමේ නිලකුණු පන්දු සංඛ්‍යාව පන්දුවාර 10 කට අඩු වූයේ 2 ක් පමණි.

ඒ අනුව තරගාවලියේ මීළඟ අදියර හෙවත් හම්බන්තොටදී පැවැත්වෙන අවසන් තරග වටයේදී සුදුසුකම් ලැබීමේ පළමු තරගය යටතේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් පිල තරග වැදීමට නියමිතව තිබේ. එම තරගය දෙසැම්බර් 19 වැනිදා පස්වරු 7.30 ට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

තරගයේ වීරයා – භානුක රාජපක්ෂ

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 129 යි – (භානුක රාජපක්ෂ 23, ධනුෂ්ක ගුණතිලක 19, මොහොමඩ් හෆීස් 15, සහන් ආරච්චිගේ 14, පුලින තරංග 14, ප්‍රවීන් ජයවික්‍රම 13/2, විජේකාන්ත් වියස්කාන්ත් 21/2, වහාබ් රියාස් 31/2, ෂොයෙබ් මලික් 16/1)

ජැෆ්නා ස්ටැලියන්ස් පන්දුවාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 109 යි – (ෂොයෙබ් මලික් 23, රාමනුල්ලා ගුර්බාස් 21, අශේන් බණ්ඩාර 18, සමිට් පටෙල් 15/2, නූර් අහමඩ් 12/2, මොහොමඩ් හෆීස් 23/1, මොහොමඩ් අමීර් 25/1, සහන් ආරච්චිගේ 09/1)